අද සිට කාලගුණ තත්වයේ වෙනස් වීමක්

නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායු ගෝලයේ පැවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ගාල්ල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර දිස්ත්‍රික්වල සවස 2 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනවා. බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයත් ද ඇතිවනවා. මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු වීමේ අවදානමක් ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රලුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. පුත්තලම සිට කොළඹ හරහා අම්බලන්ගොඩ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩිවන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රලු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *