“ගොඩක් අය අහනවා මට අවුරුදු 18 ද කියලා” ලොකුම බලාපොරොත්තුව ගැන සදනී කීව කතාව බලන්නකෝ

මේ දවස්වල නිර්මාණවලට දායක වෙන්නේ නැද්ද?

ඇත්තටම මේ දවස්වල මම ලොකු වැඩක් කළේ නැහැ. මොකද දෙසැම්බර් මාසයේ මගේ විභාග කටයුතු තිබුණු නිසා ඒ දේවල්වලට යොමු වුණා. මගේ ප්‍රතිඵල එනකන් මේ දවස්වල බලාගෙන ඉන්නවා.

මෑත කාලයේදී වැඩිම ප්‍රතිචාර ලැබුණේ?

මෑත කාලයේදී මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘තවදුරයි ජීවිතේ’ ටෙලිනාට්‍යයේ ‘දෝණි’ කියන චරිතයට. ඊට අමතරව ‘තූර්යා’ ටෙලිනාට්‍යය සඳහාත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

ක්‍ෂේත්‍රයට එන්නේ කොයි කාලයේද?

මම ක්‍ෂේත්‍රයට එන්නේ කුඩා කාලයේදීම. ඒ පුවත්පත් මුල්පිටුවලින්. මම පෙරපාසල් යන කාලයේ වගේ ඉඳන්. රූපවාහිනි දේවල්වලට සම්බන්ධ වුණේ 05 වසරේදී වගෙයි. මුලින්ම වෙළෙඳ දැන්වීම්වලට තමයි දායක වුණේ.

කාලවට එන්න හිතුණේ ඇයි?

කලාව කියන දේට එන්න ලොකුම හීනය තිබුණෙ අම්මාගේ. තාත්තා නම් මුලින් කැමැති වුණේ නැහැ. නමුත් දැන්නම් එයා කැමැතියි සහ ආසයි. කොහොමහරි මගේ ඉගෙනීමේ වැඩකටයුතු පාඩුකර ගත්තේ නැහැ ඒ දේවල් නිසා. ඉතින් දැන් හොඳ විදියට හරි දෙයක් කරලා සාමාන්‍ය විදියට ජීවත් වෙනවා.

වැඩිපුරම නිර්මාණ දායකත්වය ලබා දෙන්නේ මොකටද?

වැඩිපුරම මම රූපවාහිනී නිර්මාණ සඳහා දායකත්වය දෙනවා. ඉතින් ඒක නිසා මාව පුංචි තිරයේ තමයි නිතරම දකින්න ලැබෙන්නේ.

සිනමාවට අදහසක් නැද්ද?

සිනමාවට ගොඩක් ආරාධනා ලැබෙනවා. පොඩි කාලයේ මම ‘රෝස කැලේ’ වගේ නිර්මාණවලට දායක වුණා. ළඟකදී චිත්‍රපට දෙකක් සඳහා ආරාධනා ලැබුණා. එකක් සඳහා නම් දායක වෙන්න බැරි වුණා. අනිත් එක ගැන තාම හිතලා නැහැ.

එකම චරිතයක් සඳහා ඔබව කොටුවෙලා නේද?

මම විවිධ චරිත කරන්න කැමැතියි. නමුත් මට මේ වෙනකන් ලැබුණේ ඒකාකාරී චරිතයි. ඒකට මගේ පෙනුම බලපාන්න ඇති කියලා හිතනවා. මොකද මාව චූටි කෙනෙක් විදියට හැමෝටම පේනවා කියලා කියනවා. මගේ අවුරුදු 24යි. ඒත් ගොඩක් අය අහනවා මට අවුරුදු 18ද? තාම ඉස්කෝලේ යනවද කියලා. ඒ හින්දද මන්දා මට ලැබුණෙම ඉස්කෝලේ යන චරිත. චරිත දෙක තුනක තමයි මම පෙම්වතියගේ චරිත කළේ.

ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්ද?

ඇත්තටම කිව්වොත් මේක මගේ වෘත්තීය නෙමෙයි. මම වෘත්තීය රංගන ශිල්පිනියක් නෙමෙයි. මම මේක ගොඩක් ආසාවෙන් ආදරෙන් කරන දෙයක්. මගේ වෘත්තිය විදියට තෝර ගන්න ඉන්නේ ගුරු වෘත්තිය. මොකද මම අධ්‍යාපන කටයුතුත් කරන්නේ ඒ අංශයෙන්. ඉතින් තව ටික කාලකයදී මට ඒ තැනට යන්න පුළුවන් වෙයි. එතකොට සමබරව කරගෙන යන්න පුළුවන් වුණොත් රංගනයත් කරගෙන යනවා. එහෙම නැති වුණොත් වැඩි ඉඩක් දෙන්නේ ගුරු වෘත්තියට තමයි.

ගුරුවරියක් වුණත් පිටින් බලන අයට ඔයා පාසල් යන ළමයෙක් වගේ පෙනුණොත්?

ඔව්, ඒකත් ඇත්ත. පෙනුමෙන් පොඩි වගේ පෙනුණට වයසින් මම වැඩියිනේ. ඇත්තටම මගෙන් පොඩි ළමයිනුත් අහල තියෙනවා ‘ඔයා ටීචර් කෙනෙක්ද? නැත්නම් ඉස්කෝලේ යන අක්කා කෙනෙක්ද’ කියලා. ඉතින් සාරි ඇඳන් යන එකෙන් තමයි ඒ අය හොයා ගන්නේ ගුරුවරියක් කියලා. නැත්නම් හොයා ගන්නත් බැහැ ළමයින් වගේම තමයි.

ගුරුවරියක් වෙන්න ඔච්චර කැමැත්තක් දක්වන්නේ ඇයි?

ඇත්තම කියනවා නම් මම ගොඩක් ආසයි ළමයින්ට. මම ආසයි ළමයින් එක්ක කාලය ගත කරන්න. මට ඉවසීම කිනදේ තියෙනවා ළමයි එක්ක ඉද්දි. උගන්වනවා කියන දේ මට පිහිටපු දෙයක්. ඒක මට දැනිලා තියෙනවා. මම දෙයක් කාට හරි පැහැදිලි කළත් ඒ කෙනා ඒ ගොඩාක් හොඳින් තේරුම් ගන්නවා. ළමයින් එක්ක කාලය ගත කරද්දි පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ගුරුවරියක් වෙන්න ගොඩක් ආස කරන්නේ.

රංගන ජීවිතයට ගෙදරින් ලැබෙන සහායෝගය කොහොමද?

අම්මගෙන් තමයි මට ලොකු සහයෝගයක් ලැබෙන්නේ. මොකද මම අදටත් යන තැන්වලට අම්මත් මාත් එක්ක එනවා. මගේ හරි වැරදි, ඇඳුමක් ඇන්දත් හරි වැරදි පෙන්වන්නේ එයා. අම්මගෙන් තමයි ලොකුම සහයෝගය ලැබුණේ. එයාගේ සහයෝගය නැත්නම් මට අද මේ ගමන එන්න වෙන්නේ නැහැ.

මේ ගමන ගැන තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම ඔව්, මම දැනට ආපු ගමන ගැන තෘප්තිමත්. මම ලොකු ජනප්‍රියත්වයක් පස්සේ යන කෙනෙක් නෙමෙයි. මට ලොකු ජනප්‍රියත්වයක් ඕන නැහැ. ලංකාව ගොඩක් දෙනා මාව දන්නේ නැහැ කියන එකත් මට ප්‍රශ්නයක් නෙමෙයි. මාව දන්න සුළු පිරිසක් ඉන්නවා. ඒ අය මට ආදරෙයි. ඒ ජනප්‍රියත්වය හොඳටම ඇති. මේ වෙනකන් කරපු හැමදෙයක් ගැනම තෘප්තිමත් සහ ඉස්සරටත් ඒ විදයටම වැඩකටයුතු කරනවා. මට හයියෙන් දුවන්න ඕන නැහැ. මම හිමින් ගමනක් යන කෙනෙක්. මේ ආපු ගමන ගැන සතුටුයි.

ඕනෑවට වඩා ජනප්‍රිය වීම කරදරයක්ද?

නැහැ. ජනප්‍රිය වෙන එක කරදරයක් නෙමෙයි. ජනප්‍රිය වෙන එක වාසනාවක්. මිනිස්සුන්ගේ ආදරය ලැබෙන එක ලොකු දෙයක්. මම ගොඩක් ජනප්‍රියත්වයට කැමැති කෙනෙක් නෙමෙයි. ඒ වගේම අවධානය දිනා ගන්න කැමැති කෙනෙක් නෙමෙයි. මට ලැබෙන ප්‍රතිචාර සහ ලැබෙන ජනතාවගේ ආදරේ හොඳටම ඇති. ඒක රැකගන්න තමයි මට ඕන.

සීමිත ජනප්‍රියත්වය තුළින් මේ ක්‍ෂේත්‍රය තුළ රැඳී ඉන්න පුළුවන්ද?

මට හිතන්නේ ඇති. යම්කිසි කොට්ඨාසයක් මට ආදරය කරනවා වගේම මට කැමැතියි. මම කැමැතියි විවිධ චරිත ඔස්සේ ජනතාව අතරට යන්න. එහෙම කියලා ලැබෙන හැම දෙයක්ම කරනවා කියන එක ජනප්‍රියත්වයක් ලැබෙන්න හේතුවක් නෙමෙයි. ජනතාව ආදරය කරන දෙයක් කරලා ඒ තැනට යනවා මිසක් ලැබෙන හැම වැඩේම කරලා මිනිස්සුන්ට පේන්න දැකලා පුරුදු වෙන එක නෙමෙයි ජනප්‍රියත්වය කියන්නේ කියලයි මම හිතන්නේ.

ක්‍ෂේත්‍රය තුළ නවකයන් සමග තරගකාරීත්වයක් නැද්ද?

ක්‍ෂේත්‍රය තුළ තරගකාරීත්වයක් තියෙනවා. නමුත් මට තරගකාරීත්වයක් නැහැ. මොකද මම තරග කරන්න යන කෙනෙක් නෙමෙයි. මම මගේ පාඩුවේ වැඩ කරගෙන යන කෙනෙක්. අලුත් අය එන්න ඕන. ඒ අය ජනප්‍රිය වෙන්න ඕන. මම එහෙම ලොකු තරගයක් දෙන්න තරම් තරගකාරී දෙයක් කරන කෙනෙක් නෙමෙයි. මට හම්බවෙන වැඩේ හොඳට කරලා. නිදහසේ කාලය ගත කරන්න තමයි මම හිතන්නෙ.

ජීවිතේ ලොකුම බලාපොරොත්තුව?

මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්න තාක්කල් හොඳ වැඩවලට සහභාගි වෙලා මේ හිටියා වගේම හොඳ නමක් තියාගෙන ඉන්නයි. ගුරුවරියක් වෙලා මගෙන් ඉගෙන ගන්න ළමයින්ට හොඳ ගුරුවරියක් වගේම, හොඳ ආදර්ශවත් චරිතයක් වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව.

උපුටා ගැනීම – සාරවිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *